Wednesday, October 28, 2020

පුස්කොළ පොත් සම්ප්‍රධාය







පාෂාණ මත බිහි වූ ලේඛන කලාව වර්තමාන කඩදාසිය දක්වා විකාශනය වුයේ           ක්‍රමක්ක්‍රමයෙනි. එය යුගයෙන් යුගය වෙනස් වෙනස් වූ ලේඛන මධ්‍යන් තුළ සිදු වන්නට  විය. ආසියානු කලාපීය රටවල එනම් බොහෝ දුරට ශ්‍රී ලංකාවේ අතීතයේ ලේඛන කටයුතු සිදු කලේ පුස්කොළ පොත් මතයි. පුස්කොළපොත් කියූ පමණින් සිහියට නැගෙන්නේ නිධන් වදුල් , ඖෂධ වට්ටෝරු , ආදියයි. එපමණක්ම නොව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූයේත් පුස්කොළපොත් මතයි. මෙසේ පුස්කොළ පොත් ලෙස භාවිතා වන්නේ තළ ගසේ කොළයි. බෙන්ජමින් ක්ලප් දේවගැති තුමා ඉදිරිපත් කරන ආකාරයට " ලිවීමට හෝ උල් කටුවෙන් සීරීමට පිළියෙළ කරගන්නා හිස් කොළය පුස්කොළය " ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාවේ පුස්කොළය ගැන ලැබෙන ආධිතම සාක්ෂිය වන්නේ මහින්දාගමනයෙන් පසු කාලයයි. බුදුරදුන් පිට දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරන විට පැමිණි අටලොස් කුල පිරිස තුළ පොය්හ් ලිවීම් කල අය සිටි බව අතීත පුරාවෘත්ත තුළ සඳහන් වේ. තල කොළය පුස්කොළයක් බවට පත් වන ආකාරය ඉතාමත් සීරුවෙන් කරන ලද ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙස තල කොළයක් පුස්කොළයක් බවට පත් වීම සඳහන් කල හැකිය. එය පියවරෙන් පියවර පහත පරිදි වේ. 

 01. තල ගොබය කැපීම සහ කූරු ඉවත් කිරීම 

මෙහිදී තල ගස කුඩා කාලයේදිම ඒ සඳහා වෙන් කර ගනු ලබයි. එවිට එම තල ගස වෙනත් කිසිදු කාර්‍යක් සඳහා යොදා ගනු නොලැබේ. මෙය තල ගස ලකුණු කිරිම ලෙස හදුන්වනු ලබයි. තල ගොබය පීදීගෙන එන විට ගොබය විසිරී යෑම වළක්වා ගැනීම සඳහා වළලු වලින් හිර කරනු ලබයි. මෙම වළලු සාදාගනු ලබන්නේ උණ පතුරු වලිනි. ගොබයේ මනා වැඩීමට මෙන්ම ආරක්ෂාවටත් එය බොහොසෙයින් වැදගත් වේ. මේ ආකාරයට හොදින් වැඩුණු ගොබය කපාගත් පසු එහි තල කූරු ඉවත් කිරීම සිදු වෙයි. මෙහිදී තල කොළයට හානි නොවන සේ කොළය ඉවත් කිරිම සිදු කරනු ලබයි.

02. වට්ටු සෑදීම

කූරු ඉවත් කල පසු මෙම තල කොළ රෝලක් ලෙස හකුලනු ලබයි. තලකොළ කිහිපයක් එක මත එක තබා සිදු කරනු ලබන මෙය හදුන්වනු ලබන්නේ වට්ටු සෑදීම යනුවෙනි. එසේ සාදාගත් වට්ටු බෙහෙත් මිශ්‍ර කරන ලද වතුරෙන් තැම්බීම සිදු කරනු ලබයි. වතුරත් සමග වට්ටු උඩට ඒම වැළැක්වීම සඳහා භාජනයේ උඩ ලී පතුරු බදිනු ලබයි. මෙය සිරිතක් ලෙසද සිදු කරනු ලබයි. 


03. තල කොළ වියලීම

මෙසේ තම්බාගත් තල කොළ වෙන වෙනම මද පවනේ වේලා ගනු ලබයි. ඉන් පසුව පිළිවෙලින් මඳ අව්වේත් මඳ පවනේත් වේලීම සිදු කරනු ලබයි. මේ ආකාරයට වේලා පදම් වූ වට්ටු නැවතත් වට්ටු ආකාරයට සකස් කරනු ලබයි.

04. කොළ මැදීම

වේලන ලද තලකොළ හොදින් මැදීම සිදු කරනු ලබයි. මෙය සිදු කරනු ලබන්නේ කෙලින් අතට සිටවන ලද ඉනි දෙකක් මැද හරස් අතට පුවක් කදක් සවි කරනු ලබයි. ඉන් පසු පුවක් කද මත තල කොළය තබා එක් පැත්තක ගඩොල් කැටයක් තරම් බරක් තබා හරස් ලීයේ ඉහළට පහළට සීරුවෙන් තල කොළය මැදීම සිදු කරනු ලබයි. මේ ආකාරයට මදින ලද තල කොළ නැවත වට්ටු ආකරයට සකසනු ලබයි. මේවා මඳින ලද වට්ටු ලෙස හදුන්වනු ලබයි. 

05. සිදුරු විදීම සහ කොළ කැපීම

මෙය සුළි කැපිම ලෙසද හදුන්වනු ලබයි. යකඩ කූරක් ආධාරයෙන් මෙය සිදු කරනු ලබයි. මුළින් පුස් කොළය තුනටත් පසුව හතරත් නවා නැවුම් පාරවල් ඔස්සේ සිදුරු කිරීම සිදු කරනු ලබයි. මෙසේ සිදුරු විදිනු ලබන්නේ සමාන දුරවල් වලිනි. පුස් කොළය කපා ගැනීමේදී පුස්කොළ පොතෙහි ස්වභාවය අනුව අච්චුවක් ආධාරයෙන් කපා ගනු ලබයි.

06. රත ගෑම

පුස්කොළ පොතට මනා නිමාවක් ලබා දීම සඳහා මෙය සිදු කරනු ලබයි. පත්තුළ නම් උපකරණයක් මේ සඳහා භාවිතා කරනු ලබයි. මෙහිදී ගිනියම් කරන ලද පත්තුළ පුස්කොළය අච්චුව තුළ තිබියදීම දාරවල අනවශ්‍ය කොටස් පුලුස්සනු ලබයි. 
              පුස්කොළ පොත ආරක්ෂා කරමින් ව්‍ය වටේට තිබෙන කවරය පොත් කම්බාරිය ලෙස හදුන්වනු ලබයි. දැව වර්ග මෙන්ම සතුන්ගේ හම් ද , ඇත් දත් , රන් රිදී , පිත්තල ආදියත් මේ සඳහා යොදා ගනු ලබයි. සාම්ප්‍රධායික මෝස්තර කැටයම් වලින් පුස්කොළ පොත අලංකාර කරගනු ලබයි. එපමණක් නොව මැණික් ඔබ්බවන ලද වටිනා කම්බාරිද සකසනු ලබයි. කම්බාරි දෙක එකට බැඳ තබන්නේ සකියෙනි. පුස්කොළ පොතෙහි කොළ විසිරී යෑම වළක්වා ගෙන කොළ තද කොට බැද තබා ගැනීමට සකියට හැකිය.

පුස්කොළ වල අක්ෂර ලියන ආකාරය

පුස්කොළයෙහි අකුරු ලිවීමට භාවිතා කරනු ලබන උල් කටුව පන්හිඳ ලෙස හදුන්වනු ලබයි. අකුරු වල හැඩය , අකුරු වල ප්‍රමාණය අකුරු පේළි දෙකක් අතර දුර ප්‍රමාණය එක සමාන විය යුතුය. සිංහ ශෛලිය , හස්‍ති ශෛලිය , හංස ශෛලිය සහ කාක ශෛලිය ලෙස අකුරු ශෛලීන් හතරක් පිළිබඳව ඉතිහාස පොත් පත් වල සඳහන් වේ. 

මේ ආකාරයට තල කොළයක් පුස්කොළයක් බවට පත් වීම සිදු වනු ලබයි. අදටත් වෙහෙර විහාර අශ්‍රිතව මෙම පුස්කොළ පොත් සම්ප්‍රධාය දක්නට ලැබෙයි.


0 comments:

Post a Comment